ගෞතම බුදු සසුනෙහි පිළිසරණ ලැබීම තුළින් අප සියලු දෙනාගේ මෙලොව පරලොව යහපත සලසනු වස් අප ගුරුදේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේ විසින් ත්‍රිවිධ රත්නයට අයත් බොහෝ අමූල්‍ය වස්තූන් අප වෙත දායාද කරන ලද්දේ ය. ඒ් අතර උන්වහන්සේගේ පුණ්‍ය සංකල්පනාවකින් මල්ඵල ගැන්වුනු මහානීය පාරිශුද්ධ වස්තුවක් ලෙස ශ්‍රී අංගුලිමාල මහා සෑය අපවෙත ලැබුනේය. ශ්‍රී අංගුලිමාල මහා සෑයේ නිර්මාණය පිළිබද මූලික පුණ්‍ය සංකල්පයේ පටන් ලක්වැසි පමණක් නොව ලෝ වැසි බොහෝ බුද්ධශ්‍රාවක ජනීජනයාගේ සැදැහැබර සිත් අමන්දානන්දයට පත් කරවමින් අපරිමිත පුණ්‍යස්කන්ධයක් රැස් කරගැනීමට වාසනාව ලැබුනේය.

මේ අසිරිමත් සෑයෙහි ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා අටනමක් ලෝ සතට සෙත සලසමින් සතරැස් කොටුවෙහි විරාජමානව වැඩවසන සේක. එසේම මෙහි ධාතු ගර්භයෙහි ශ්‍රී අංගුලිමාල ධාතූන් වහන්සේලා දහස් නමක් ලෝ සතට සෙත සලසමින් විරාජමානව වැඩවසන සේක.

මහා පෘථිවියෙ හි ශ්‍රී අංගුලිමාල ධාතූන් වහන්සේලා මෙපමණ සංඛ්‍යාවක් වැඩවසනුයේ මේ අසිරිමත් සෑයෙහි පමණි.

දුලබව ලද මිනිසත් බවෙහි නිසිඵල නෙලීම යනු අවබෝධයෙන්ම තෙරුවන් සරණ යාමය. සිල් හී පිහිටීමය. බුද්ධෝපස්ථාන සංඝෝපස්ථාන ආදී දානාදී පින්කම්හි යෙදීමය. ඒ් සඳහා ශ්‍රී අංගුලිමාල මහා සෑය වනාහි අතිශය තේජමාන වූ උත්තුංග වූ සුපූජනීය වූ මහා පින්කෙතකි.

ඔබ සියලු දෙනාට ශ්‍රී අංගුලිමාල මහා සෑයේ තේජානුභාවයෙන් සියලු රැකවරණ වේවා!

All rights reserved